ඉදිරිදර්ශන

යුරෝපීය අධිරාජ්‍යවාදය, ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට එක් වෙයි

[මෙය European imperialism joins in the illegal US-Israeli war on Iran යන මැයෙන් 2026 මාර්තු 11 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් 2026 මාර්තු 2 වන සඳුදා ප්‍රංශයේ ක්‍රොසොන් හි ඉල් ලොංගෙ න්‍යෂ්ටික සබ්මැරීන් නාවික කඳවුරට ගිය අවස්ථාවේදී භට පිරිස් නිරීක්ෂනය කරයි. [AP Photo/Yoan Valat]

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය බහු-පෙරමුනු කලාපීය—සහ වඩ වඩාත් ගෝලීය—වහ්නි ජාලාවක් දක්වා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. යුද්ධය මැද පෙරදිග පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් වඩ වඩාත් සෘජුවම මිලිටරි මෙහෙයුම් වලට ඇද ගනිමින් සිටී.

මැදපෙරදිග තුල ඊශ්‍රායලය ඉරානයෙන් ඔබ්බට ලෙබනනය දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති අතර, මධ්‍යම බේරූට්හි මිනිසුන් පදිංචි ජනාකීර්න ප්‍රදේශවලට එල්ල කෙරෙන ප්‍රහාර ඇතුලු ව රට පුරා නොකඩවා ප්‍රහාර එල්ල කෙරෙමින් පවතී. 800,000 කට අධික පිරිසකට පලා යාමට සිදු වී ඇත; 600 කට වැඩි පිරිසක් මිය ගොස් 1,444 දෙනෙක් තුවාල ලබා තිබේ.

ලෝක වෙලඳපොලවල් සොලවා දමමින් සිදු ව ඇති ගැටුම දැනටමත් මිල ඉහල යාමට හේතු වී ඇති අතර, ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් වැඩි කොටසක් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය සෘජු ගැටුමක පොර පිටියක් බවට පත් ව තිබේ.

ඒ අතර ම, යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්—දේශපාලනික ව සහ මිලිටරිමය වශයෙන්—“නාවික මාර්ග ආරක්ෂා කිරීම” සහ “කඳවුරු ආරක්ෂා කිරීම” යන වංචනික ධජය යටතේ [යුද්ධයට] යොමු වෙමින් සිටියි.

අඟහරුවාදා (10), ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, මැද පෙරදිග තුල යුරෝපීය නාවික කන්ඩායමකට ප්‍රංශය නායකත්වය දෙන බව නිවේදනය කිරීමට න්‍යෂ්ටික සන්නද්ධ ගුවන් යානා නෞකාවක් වන චාල්ස් ඩි ගෝල් වෙත ගොඩ බැස්සේ ය. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය “දියත් කර ඇත්තේ ජාත්‍යන්තර නීතියේ රාමුවෙන් පිටත” බව පිලිගෙන යන්තම් සතියකට පසු ව, ඔහු ප්‍රංශය සහ එහි යුරෝපීය සහචරයින් මෙම නීති විරෝධී යුද්ධයට එක්වන බව නිවේදනය කලේ ය.

මැක්‍රොන් යුද්ධය නීති විරෝධී බව ප්‍රසිද්ධියේ කියා තිබූ බැවින්, ඔහුට කිරීමට සිදුවිය හැකි ප්‍රකාශ ගැන කෙනෙකුට සිතාගත හැකි ය. නමුත් ප්‍රංශය එයට විරුද්ධ වන බව ඔහු නිවේදනය කලා ද? මිනාබ්හි පාසල් දැරියන් 160 දෙනෙකු මරා දැමීමට බෝම්බ හෙලීම, රෝහල්වලට බෝම්බ හෙලීම, ඉරාන ඉන්ධන ගබඩාවලට බෝම්බ හෙලීමෙන් ඉරානයේ අහස දූෂනය කිරීම ඇතුලු ඉරාන ජනතාවට එරෙහි ව එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද අපරාධ ඔහු විවේචනය කලා ද? එක්සත් ජනපද යුධ ගුවන් යානා සඳහා ප්‍රංශ ගුවන් හමුදා කඳවුරු වසා දමන බව ඔහු නිවේදනය කලා ද? නැත, කොහෙත් ම නැත.

ඒ වෙනුවට, ස්පාඤ්ඤ, ලන්දේසි, ඉතාලි සහ ග්‍රීක යුද නැව් සමඟින්, ප්‍රංශ ගුවන් යානා ප්‍රවාහන නෞකාව සහ එහි පරිවාර භටයින් “විශාල මෙහෙයුමක් සම්බන්ධීකරනය කරනු ඇති බව…” ප්‍රකාශ කලේ ය. “එය සම්පූර්නයෙන් ම සාමකාමී සහ ආරක්ෂිත ය; නමුත්, මෙම අතිශය අසංවිහිත සන්දර්භය තුල නාවික නිදහස සහ සමුද්‍ර ආරක්ෂාව පවත්වා ගෙන යාම අපගේ වගකීමයි.” “තත්වය ප්‍රකෘතිමත් වූ පසු, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සහ එය ක්‍රමානුකූල ව විවෘත කිරීම” දක්වා වර්ධනය විය හැකි, මධ්‍යධරනී මුහුදේ සහ රතු මුහුදේ පැවැත්වුනු මෙවැනි මෙහෙයුමකට මීට ඉහත දී සහභාගි වූ ආකාරය ඔහු තවදුරටත් පැහැදිලි කලේ ය.

මෙය ඇත්ත වශයෙන් ම, ප්‍රංශය සහ එහි යුරෝපීය සහචරයින් විසින් ඉරානයට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කිරීමකි. යුරෝපීය යුද නැව්වල ප්‍රාරම්භක දියත් කිරීම, එක්සත් ජනපද-ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට එරෙහි ව ඉරාන පලිගැනීමේ ප්‍රහාරවලින් මැද පෙරදිග පවතින ඊශ්‍රායල සහ නැටෝ කඳවුරු ආරක්ෂා කරනු ඇතත්, මෙය—ආරම්භයේ සිට ම—හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන මුහුදු සීමාවට මැදිහත්වීමක් සූදානම් කිරීමට අදහස් කරයි.

ඉරානයේ තෙල් නැව්ගත කිරීම් අවහිර කිරීම සඳහා ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමනයටත්, ඉන්දියානු සාගරයට ඇමරිකානු යුද නැව් යෙදවීමටත් ප්‍රතිචාර වශයෙන්, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇත. ඉරානය පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු කඳවුරුවලට බෝම්බ හෙලන අතර, ලෝකයේ තෙල් හා ගෑස් වලින් සියයට 20 ක් සහ එහි පොහොරවලින් තුනෙන් එකක් ලෝක වෙලඳපොලට ගලා එන මෙම වැදගත් මුහුදු ගමන් මග කපා දමමින් සිටී. මෙම අවහිරය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ඉරාන හමුදා අවම වශයෙන් නැව් දුසිමකටවත් ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉරානයේ වෙරල තීරයේ ආරක්ෂිත කඳවුරු වලින් නෞකා-නාශක මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

චාල්ස් ඩි ගෝල් නෞකාවේ නාවිකයන් අමතමින් මැක්‍රොන් කල මිනිත්තු හතක නොසැලකිලිමත් correct  කතාවේ දී, ඔහුගේ ප්‍රකාශවලින් මතු වූ කිසිදු ප්‍රශ්නයකට පිලිතුරු දුන්නේ නැත. ට්‍රම්ප් පරිපාලනය යුරෝපයට වෙලඳ යුද තීරුබදු පැනවීමෙන් සහ ඩෙන්මාර්කයේ ග්‍රීන්ලන්ත භූමිය ආක්‍රමනය කර අල්ලා ගැනීමට තර්ජනය කිරීමෙන් මාස කිහිපයකට පසු ව, යුරෝපීය බලවතුන් ට්‍රම්ප්ගේ නීති විරෝධී යුද්ධයට පක්ෂපාතී වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට ඔහු උත්සාහ කලේ නැත.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බලහත්කාරයෙන් චාල්ස් ඩි ගෝල් නෞකාව යවන්නේ කුමන කොන්දේසි යටතේ ද යන්න මැක්‍රොන් නිශ්චිත ව දක්වා නැත. ඔහුගේ ප්‍රකාශයන් තුල සමුද්‍ර සන්ධිය ඉක්මනින් නැවත විවෘත වන බව පෙන්වීමෙන්, සමුද්‍ර සන්ධිය වසා දැමීම—එහි ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල බැරලයකට ඩොලර් 100 ඉක්මවා ගියේ ය—සම්බන්ධයෙන් මූල්‍ය වෙලඳපොලවල ඇති භීතිය සමනය කිරීමට අදහස් කිරීම, මෙයට එක් හේතුවක් විය.

කෙසේ වෙතත්, වඩාත් මූලික වශයෙන්, හෝමූස් අවහිරය බිඳ දැමීම පිලිබඳ මැක්‍රොන්ගේ ගනනය කිරීම්, ඔහුගේ ප්‍රතිපත්තියේ සාපරාධී ස්වභාවය හෙලි කරයි. වර්තමානයේ, ඇමරිකානු යුද නැව්, ඔවුන්ගේ යුරෝපීය සගයන් මෙන්, ඉරාන මිසයිල පරාසයෙන් ඈත් ව සිටීම සඳහා සමුද්‍ර සන්ධියෙන් කිලෝමීටර් සිය ගනනක් දුරින් රඳවා තිබේ. ඉරානයේ වෙරලට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි සමුද්‍ර සන්ධියට ඔවුන්ට ඇතුලු විය හැකි වනුයේ, මෙම යුද නැව් මිසයිල හෝ කාලතුවක්කු ප්‍රහාරයන්ට බිය විය යුතු නොවන ආකාරයට, එක්සත් ජනපද-ඊශ්‍රායල පොකුරු බෝම්බ ප්‍රහාරවලින් ඉරාන ප්‍රතිරෝධය මුලුමනින් ම තලා දැමුවහොත් පමනි.

මෙම ප්‍රතිපත්තිය “සාමකාමී සහ ආරක්ෂක” බවට මැක්‍රොන් කරන ප්‍රකාශය, ප්‍රංශ සහ ලෝක ජනතාවගේ බුද්ධියට කරන නිගාවකි. ඉරානය කලාපය පුරා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර පොකුරු පිට පොකුරු එල්ල කිරීම දිගට ම කරගෙන යන විට, ඉරානය තලා දැමීමට ම්ලේච්ඡ මට්ටමේ ප්‍රචන්ඩත්වයක් අවශ්‍ය වනු ඇති බව පැහැදිලි ය.

ඉරානයට එරෙහි යුද්ධයේ දී, නැටෝ අධිරාජ්‍යවාදී බලවත්තු, ගාසා සංහාරයේ ක්‍රමවේද, කලාපීය හා අවසානයේ ගෝලීය යුද්ධයකට යොදා ගනිමින් සිටියි. ඊශ්‍රායලය ලෙබනනයට අනවරත බෝම්බ හෙලීම සිදු කරනු ලබන්නේ එක්සත් ජනපද සහ යුරෝපීය යුද නැව් මගින් සපයන ගුවන්-ආරක්ෂාව යටතේ ය. චාල්ස් ඩි ගෝල් රතු මුහුදට යැවීමට මැක්‍රොන් දුන් පොරොන්දුව තුල යේමනයට බෝම්බ හෙලීම නැවත ආරම්භ කිරීමේ සැලසුම් ගැන සඳහන් ය; එහිදී, ඉරානයට එරෙහි යුද්ධයට හවුති මිලීෂියාවන් ප්‍රතිචාර දක්වා ඇත්තේ, ඊශ්‍රායලයට පහර දීමෙනි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ගෝලීය ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා තුන්වන අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් ආරම්භ කරමින් සිටී; එය පලමු අවස්ථාවේ දී චීනය සහ රුසියාව ඉලක්ක කර ගෙන ඇත. වොෂින්ටනය, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගෙන ගොස්, වෙනිසියුලාවට තම තෙල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමෙන් මාස කිහිපයකට පසු, එය නැවතත් රුසියාවට සහ චීනයට මිත්‍රශීලී සහ චීනයට බලශක්තිය සපයන තීරනාත්මක රටක් සමඟ යුද්ධයක පැටලී ඇත.

මෙම යුද්ධය අධිරාජ්‍යවාදය විසින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ව දියත් කරන ලද පන්ති යුද්ධයකින් වෙන් කල නොහැකි ය. මැදපෙරදිග නැව් මාර්ග අවහිර කරමින් රසායනික ඛනිජ ද්‍රව්‍ය සහ පොහොර සැපයුම් කපා හැරීම මගින්, ඔවුන් බලශක්ති-අධික කාර්මික ක්‍රියාකාරකම් බිඳවැට්ටවීමට, ආහාර නිෂ්පාදනයේ බිඳවැට්ටවීමට සහ ආර්ථික අවපාතයක් ඇති කිරීමට තර්ජනය කරයි. එවැනි බිඳවැට්ටවීමක ප්‍රධාන ගොදුර වනු ඇත්තේ ලෝකයේ වැඩ කරන සහ පීඩිත ජනතාවයි.

ප්‍රංශයේ උදාහරනය එක් අත්‍යවශ්‍ය යථාර්ථයක් ඉස්මතු කරයි: ජාතික වේදිකාවේ අනුගමනය කරන ප්‍රතිපත්ති සමඟ ධනවාදය ව්‍යසනයකට ඇද වැටීම නැවැත්විය නොහැක. යුරෝපීය ආන්ඩු සහ පාලක පන්ති, ඇත්ත වශයෙන් ම, වොෂින්ටනය සමඟ තමන්ගේ කටුක ආර්ථික හා උපායමාර්ගික ගැටුම් පිලිබඳව හොඳින් දනී. එහෙත් ගාසා තීරයේ සිට වෙනිසියුලාව සහ ඉරානය දක්වා, එහි මැකී යන ගෝලීය ආධිපත්‍යය ප්‍රචන්ඩ ලෙස තහවුරු කිරීමට වොෂින්ටනය උත්සාහ කරන විට ඔවුන් නැවත නැවතත් ගෙන ඇත්තේ එහි පැත්ත යි.

මෙම ප්‍රතිපත්තිය මෙහෙයවන යටින් පවතින ද්‍රව්‍යමය අවශ්‍යතා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් මෙම සති අන්තයේ පවත්වන ලද හදිසි වෙබිනාර් රැස්වීමේ දී පැහැදිලි කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් වෙබිනාර් රැස්වීමේ දී පැහැදිලි කල පරිදි, යුද්ධයේ යටි අරමුන වන්නේ “20 වන සියවස මකා දැමීම යි—යටත් විජිත ආධිපත්‍යය යථා තත්වයට පත් කල හැකි බවත්, අධිරාජ්‍යවාදයට පාලනය කල හැකි බවත් සලකමින්, කෙසේ හෝ, 20 වන සියවසේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී අරගලවල සියලු ප්‍රතිඵල විශාල අත්වැරැදි ලෙස සලකා අතුගා දැමීම,” බවත් එය පාලක ප්‍රභූන්ගේ මෙම පැරනි ප්‍රකාශයට සමාන බවත් නෝර්ත් පැවසී ය: “වහලුන් වූ ඔබ ඉදිරිටත් වහලුන් ම ය.”

දශකයකට වැඩි කාලයක් තිස්සේ, විශේෂයෙන් 2022 දී යුක්‍රේනයේ නැටෝ-රුසියානු යුද්ධය පුපුරා ගිය දා පටන්, යුරෝපීය බලවතුන් නැවත සන්නද්ධ කිරීමට අරමුදල් සොයාගෙන ඇත්තේ, කම්කරුවන්ට නිර්දය ලෙස පහර දීමෙනි. දෙවන ලෝක යුද්ධයේ දී යුරෝපය පුරා නාසි පාලනය බිඳ වැටීමෙන් පසු ප්‍රංශ කම්කරුවන් දිනාගත් සමාජ සහන අහෝසි කරන මැක්‍රොන්, සමාජ වියදම්වලින් යුරෝ බිලියන සිය ගනනක් යුද යන්ත්‍රයට හරවා යවයි. 2023 දී, එල්ල වූ අතිමහත් විරෝධතා සහ මහජන වැඩ වර්ජන නොතකා විශ්‍රාම වැටුප් කප්පාදු කරමින්, අරගලය වසා දමා පාවා දීමට, ඔහු, නිව් පොපියුලර් පෙරමුනේ වෘත්තීය සමිති නිලධරයන් සහ පක්ෂ මත විශ්වාසය තැබීය.

වොෂින්ටනයට මුහුන දීමට තවමත් මිලිටරිමය වශයෙන් දුර්වල බැවින්, යුරෝපීය බලවතුන් එක්සත් ජනපද යුද්ධවලට බියගුලු අනුග්‍රහයකින් ප්‍රතිචාර දක්වන්නේ, ඇමරිකානු සෙවන යටතේ තමන්ගේ ම අධිරාජ්‍යවාදී අවශ්‍යතා තහවුරු කර ගැනීමට සහ කම්කරුවන්ට එරෙහි ව තමන්ගේ පන්ති යුද්ධය දිගට ම කරගෙන යාමට ය. තමන්ගේ ම රටේ ජනගහනය තුල ඇති පුපුරන සුලු අතෘප්තිය කෙරෙහි පවතින බිය හේතුවෙන්, ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ඉරාන යුද්ධයට එරෙහි ව පැතිර යන විරෝධය ගැන ඔවුහු ගැඹුරින් තැතිගෙන සිටිති.

ලෝක සමාජවාදී වෙබ් අඩවි වෙබිනාර් රැස්වීම පැහැදිලි කල පරිදි, විකල්පය වන්නේ කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර හා සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි:

කම්කරු පන්තිය බල රහිත නොවන අතර, එය යුද්ධයට, ආර්ථික අර්බුදයට සහ තම ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ව මෙන් ම, එක්සත් ජනපදය, යුරෝපය සහ වෙනත් තැන්වල ෆැසිස්ට්වාදයේ සහ අධිකාරීවාදයේ වර්ධනයට එරෙහි ව ප්‍රතිචාර දැක්වීමට පෙරට එනු ඇත. නමුත් ගෝලීය පරිමානයෙන් වර්ධනය වනු ඇති සහ වෙමින් පවතින මෙම ව්‍යාපාරයට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන අතර එය ජාත්‍යන්තර විය යුතුවාක් මෙන් ම ඉතිහාසය පුරා විප්ලවවාදී අරගලවල පාඩම් මත පදනම් විය යුතු ය.

Loading